ධර්ම සාකච්ඡාව.

ප්‍රශ්නය...
රූපය පෙණ පිඩකට උපම කොට දක්වා ඇත්කේ කුමක් නිසාද ? එය බිදි බිදි යන නිසාද .? එහෙත් සමහර පෙණ පිඩු බීදි නොගොස් තියෙනවා දැක ඇත්තෙමි. මේ ගැන වඩාත් හොදින් වටහා ගැනීම පිනිස පහදා දෙන්න.
තේජානු ද සිල්වා.

පිළිතුර...
ඔබ මේ පවසන්නේ.. පේණ පිණඩුපම නම් වු සුත්‍ර දේශනාවේදී බුදු රජාණන් වහන්සේ වදාළ උපමාව ගැනයි පඤ්චස්ඛන්ධයට ‍එහි ඇති උපමාවන් තරම් වෙනත් උපමාවක් නොමැති තරම්ය. ඒවා එතරම්ම නිවැරදි බවින් යුතු වන අතර අර්ථයෙන්ද සුපරිපුර්ණය. ඒ ගැන එම සුත්‍ර දේශනාව අවසානයේ දක්වා ඇති ගාථාවේ සදහන් වන්නේ මෙසේය.

ඵෙණපිණ්ඩුපමං රූපං
වේදනා බුබ්බුලූපමා
මරිචීකූපමා සඤ්ඤා
සංඛාරා කදලූපමා
මායුපමඤ්ච විඤ්ඤාණං
දේසිතාදිච්ච බන්ධුනා.

රූපය ඵෙණපිඩක් වැනිය,වේදනාව දිය බුබුලක් වැනිය, සඤ්ඤාව මිරිගුවක් වැනිය, සංස්කාරයන් කෙසෙල් වනයක් වැනිය, විඤ්ඤාය මායා කාරයෙකු බදුයයි ආදිච්ච බන්ධු වු බුදු රජානන් වහන්සේ විසින් දේශනා කරන ලදි.

අසා ඇත්තේ රූපය සම්බන්ධ උපමාව ගැන බැවින් මෙතැන් සිට ඒ ගැන කරුණු කියමි.
චත්තාරෝ ච මහාභුතා චතුණ්නඤ්ච මහා භුතානං උපාදාය රූපං...සතර මහා ධාතුත් ඒවායෙන් සකස් වු යම් දෙයක් වෙද් ද ඒ සියල්ල  රූප නම් වේ. මේවාට රූප යයි කියනු ලබන්නේ කුමක් නිසාදැයි රාධ නම් භික්ෂුවට බුදු රජානන් වහන්සේ මෙසේ පැහැදිලි කොට වදාළ සේක. රුප්පතීති ඛො රාධ තස්මා රූපන්ති වුච්චති. කැඩි බිදී නැසී විනාස වී යන ස්භාවයට අයත් බැවින් මේවාට රූප යයි කියනු ලැබේ. මේවා වෙනස් වන්නේ සීතලෙන් උණුසුමෙන්, යනදී හේතුන් ද එහි දක්වා ඇත.

මෙබදු ස්භාව ඇති රූපය ඵෙණ පිඩකට සමාන යයි බුදු රජානන් වහන්සේ දක්වා වදාළ සේක. ‍‍‍‍ඵෙණ පිඩක ස්භාවය. ටිකින් ටික මතු පිටට නොපෙනුනත් බිදී බිදී ‍බිදී යාමය. ශරීරයේද ස්භාවය එයම නොවේද මෙය කාලයක් මතුපිටට පෙනෙන සේ පිම්බී තිබුනද ලෙඩක් දුකක් හැදුණ විට හැකීලී යන්නේ අව්වේ දමන ලද බට දන්ඩක් වියළී යන්නා සේය. එසේම ජරාවට පත් වීමේදී හම රැලි වැටීම් ආදීයද එයට හොදම උදාහරණය. මෙසේ අභ්‍යන්තර බාහිර වසයෙන් මේ රූපය විවිධ හේතුන් නිසා වෙනස් වී යන්නේ ය. ඵෙණ කැටියක් දෙස බලා සිටින්න එය එක් කෂණයේම නොවුනත් හිමි හිමින් බිදී යන අයුරු ඔබට දැක ගත හැකි වෙනු ඇත. ‍එසේ ඵෙණ කැටියක සිදුවන ක්‍රියාකාරිත්වය රූපයට සිදුවෙන දේට සමාන බැවිනි බුදු රජාණන් වහන්සේ ඒ ගැන එසේ සදහන් කොට ඇත්තේ .මේ තුලින් තමා අයත් නොවන සතර මහා ධාතුන්ට අයත් මේ රූපය ගැන යම් කිසි අවබෝධයක් ඇති කරගන්නට මගපාදා දීම බුදු රජාණන් වහන්සේගේ අරමුණයි. මේ වැනි නිසරු වු රූපයට ඇලෙන බැදෙන අප ඒ ගැන අවබෝධයක් නොමැති කමින් අන්තිමේදී මහත් දුකටත් ව්‍යසණයටත් ගොදුරු වන්නේ ය.

රූප උපාදානය නිසා නොයෙක් අකුසලයට වැටෙන සිත ඒ නිසා සතර අපාදියටද වැටෙන බව ධර්මය තුල මැනවින් පැහැදිලි කොට ඇත්තේ ය. එබැවින් ඵෙණ පිඩක් බදු වු රූපයෙහි නොඇලී ජිවිතය පිළිබද අවබෝධයක් ලබා ගනිමින් නිවන් මගට ‍සත්‍යාවබෝධයේ මාවතට පිවිසෙත්වා. එය අප සැම‍ගේම ජිවිත තුල ඇති සියළු දුක් නිවා සනසන උතුම් වැඩ පිළිවෙල බවට පත්වෙනු ඇති.

2 ක් ප්‍රතිචාර දක්වා ඇත:

charitha said...

බුදුන්වහන්සේගේ උදාහරණ අන් අය දක්වන උදාහරණ මෙන් නොව සෑම පැත්තකින් සලකා බැලත් බලත්ම අදාල සංසිද්ධිය තව තවත් පැහැදිලි කිරීම සදහාම නැමී සිටී.එය උන්වහන්සේගේ ආදේශනා ප්රාතිහාර්යය විය හැක.
මේ ගැන මගේ අදහස මෙපරිදි වේ. . .
1. පෙණ කැටියක් විශාල (බෝලයක්)ලෙස පෙනුනත් එහි අභ්‍යන්තර වශයෙන් ගතහැකි කිසිවක් නැත.හරයක් නැත.බාහිර ඔපය පමණි.එමෙන්ම රූපයේද මනාව දර්ශනය වුවත් අභ්‍යන්තර වශයෙන් එහි හරයක් නැත.
2. පෙණ පිඩු ඇතිවී නැතිවී යයි.යම් කාලයක් වුවත් තිබිය හැක. නමුත් බිදී ගියපසු මුලින් තිබූ සටහනක්වත් නොතියාම බිදී යයි. රූපයද එවැනිවේ. බිදී යන්නේ එහි ගතහැකි යමක් ඉතිරි නොකරය.
3.පෙණ පිඩුව බිදීයන්නේ පරිසරයේ වූ ශීතෝෂ්ණාදිය කරණකොට සිදුවන වායු පීඩන, උෂ්ණත්ව වෙනස්කම් නිසාය(පරිසරයේ බලපෑම නිසා).රූපයද ශීතෝෂ්ණාදිය නිසා බිදීයයි.(පරිසරයේ සිදුවන බලපෑම් නිසා)
4.පෙණ පිඩුව කෙතරම් කුඩා වුවත් මහත් වුවත් යම් කාලයකින් බිදීයනු දක්නට ලැබෙයි(කාලයට සාපේක්ෂව).රූපයද කුඩා වුවත් මහත් වුවත් යම් කාලයකින් බිදීයාම උරූමකොට ඇත්තේය.(කාලයට සාපේක්ෂව)

ධර්මය බබලන්නේ විග්රහ කර බැලීමෙන්මය.සැගවී ඇතිවිට නොවේ මැයි.

sagarasumana thero said...

@charitha.
ඔබගේ අර්ථ දැක්වීම ඉතාමත්ම පැහැදිලිය. එහි අර්ථයන් වෙන් වෙන් වසයෙන් දක්වා ඇති අයුරු හරිම අගේ ය. මෙත් සිතින් යුතුව ඔබ කරන ‍මේ දහම් එකතුවට නොවක් තුති.

Post a Comment