ප්‍රායොගික ලෙස නිවන් මගේ යමු.(මේඝිය සුත්‍රය)

මේඝිය සුත්‍රය....
වාලිකා කියන පර්වත ප්‍රාන්තයේ පිහිටි ආරාමයක මේඝිය නම් ඒ පිංවත් භික්ෂුව වැඩ සිටියේ අපගේ භාග්‍යවතුන් වහන්සේ හා සමගමයි. ඉතිං එදා උදේ උන්වහන්සේ පිණ්ඩපාතේ වැඩිය ඒ ගිහින් එන ගමන් දැක්කා කිමිකාලා කියන නදී තීරයට මදක් නුදුරින් තිබුන ලස්සන අඹ උයනක්. ඒ ගස් තිබුන ලස්සනයි එතන තිබිච්ච නිසංසල කමයි නිසා උන්වහන්සේගේ හිත එතෙන්ට ඇදිලි ගියා උන්වහන්සේ කල්පනා කරා "ෂා භාවනා කරන්න හරිම අපුරු තැනක්...මං බුදු රජාණන් වහන්සේගෙන් අහලා මෙතෙන්ට ඇවිත් භාවනා කරනවා."


ඉතිං හවස් වරුවේ මේ පිංවත් ස්වාමීන් වහන්සේ බුදු රජාණන් වහන්සේ අභියසට වැඩම කොට බුදු රජාණන් වහන්සේට තමන්ගේ අවශ්‍යතාවය ප්‍රකාස කර ඒ සදහා අවසර ඉල්ලා සිටියා. ඒ කියන අවස්ථාවේ එහි සිට ඇත්තේ බුදු රජානන් වහන්සේ සහ මේ කියන මේඝිය හිමියන් පමණි. මේඝිය හිමියන් අඹ උයනට යන්නට විමසු විට බුදු රජාණන් වහන්සේ වදාලේ තව කව්රු හරි කෙනෙක් එන කම් මදක් රැදෙනා ලෙසයි එසේ වුවද මේඝිය ස්වාමීන් වහන්සේගේ සිතේ කැමැත්ත බලවත් බැවින් උන්වහන්සේ මෙසේද කියා ඇත.


"භාග්‍යවතුන් වහන්සේට නම් භාවනා කරන්න දෙයක් නෑ ඒත් මං තවම භාවනාවෙන් දියුණු නෑ..භාග්‍යවතුන් වහන්ස ! මං ‍එතෙන්ට ගිහින් භාවනා කරන්නද ? මෙසේ තුන්වතාවක්ම ඇසුයෙන් බුදු රජාණන් වහන්සේ ඒ සදහා ඒ භික්ෂුවට අවසර දුන් සේක. මේඝිය හිමියන් බොහෝම සතුටට පැමිණ. ඉහත කියන ලද අඹ උයනට වැඩියාහ. අඹ ගසක් මුල පත්කඩය එලා වාඩි විය. පො‍ඩි වෙලාවක් මනස එකම අරමුණක තබමින් සිහියෙන් වාසය කලද ක්‍රමයෙන් සිත චංචල විය. විවිධ වු කාමනිශ්‍රිත වුද ද්වේෂ නිශ්‍රිත වුද මෝහ නිශ්‍රිත වුද විතර්කයන් සිතට ගලා එන්නට පටන් ගති.


මේඝිය හිමියෝ බොහෝම සද්ධාවෙන් පැවිදි වු භික්ෂුවකි. උන්වහනසේට මේ සිදු වු දෙය ගැන පුදුම හිතුණි. උන්වහන්සේ මෙසේ සිතුහ. " හරිම පුදුම දෙයක් නේ මේක. මං කොච්චර ශ්‍රද්ධාවෙන්ද පැවිදි වුනේ එහෙව් මගේ සිතේ මේ විදිහට කැළඹෙන්නේ කොහොමද ...?
උන්වහන්සේ හවස් වරුවේ ආයෙමත් බුදු රජාණන් වහන්සේ සොයාගෙන ගියා ගිහින් බුදු රජාණන් වහන්සේට සිදු‍වු සියළු පවත් දන්වා සිටියා
එවිට බුදු රජානන් වහන්සේ මේඝිය ස්වාමීන් වහන්සේට දහමදෙසන සේක් මෙසේ වදාළ සේක.


පිංවත් මේඝියෙනි. නිවන් අවබෝධයට නොමේරු සිතක් ‍ඒ සදහා මෝරන්න කරුණු පහක් හේතු වෙනවා ඒ කරුණු පහ නම්..
01 .තමා කළ්‍යාණ මිත්‍රයෙකු වීම.(කළ්‍යාණ මිත්තෝ හොති.), කළ්‍යාණ මිතුරෙකු ඇසුර (කළ්‍යාණ සහායෝ) කළ්‍යාණ මිත්‍ර උතුමන්ගේ අදහස් කෙරෙහි නැඹුරු බව.(කළ්‍යාණ සංපවංකො)


02. සීලවන්ත කෙනෙක් වීම...
මේඝියෙනි, නිවන් අවබෝධයට සිත මෝරන්නට නම් සිල්වත්ව වාසය කරන්න ඕනේ. අමා නිවන් සුව අවබෝධය සදහා පුහුණු වෙන අය වෙනුවෙන් පණවා වදාළ ශික්ෂා පද ආරක්ෂා කරන්න ඕනේ, චාරිත්‍ර වාරිත්‍ර විධි නොයික්මවා මැනවින් ඉතාම කුඩා වරදෙහි පවා බිය දකිමින් මනාව සමාදන්ව ගත් සික්ෂා පද ආරක්ෂා කරන්න ඕනේ..


03. දස කතාවලින් යුතු වීම.
යම් කතාවක් සත්‍ය වසයෙන්ම සැහැල්ලු බාවය පිණිස පවතීද, නිවන් මගේ ගමන් කිරීමට පහසු වේද, ඒ අප්පිච්ඡ කතා, සන්තුට්ඨි කතාදි දසකාතාවෙන් යුක්තව වාසය කළ යුතුයි.


04. වී‍ර්‍යයෙන් යුක්තවීම.
නොකළ අකුසල් නොකිරීම පිණිසත් , කරන අකුසල් නොකර සිටීමටත්, නොකල කුසල් කරන්නට සේම කරන කුසල් වැඩි දියුණු කර ගැනීමටත් මානසිකව ඇති උත්සාහයෙන් යුක්ත විය යුතු වන අතර මානසිකව ගොඩනාගා ගන්නා ඒ උත්සාහය අතරමග අත් නොහැර වැඩිය යුතුය.


05 ප්‍රඥාවෙන් යුක්තවීම.
ලෝකොත්තර මාර්ග ඵල කරා අපය මෙහෙයවාලන සුළු ප්‍රඥාවකින් යුක්ත විය යුතුයි. ආර්‍ය වු කළකිරීම පිණිස පවතින, මනාව දුක් කෙළවර වීම පිණිස පවතින ප්‍රඥාවෙන් යුක්ත විය යුතුයි.


බුදු රජානන් වහන්සේ විසින් මේඝිය හිමියන් වෙත පවසා සිටියේ ඉහත සදහන් කරුණුය. ඒ කියන පස් ආකාර වු පිළිවෙතින් යුතු වන්නේ නම් එවිට අප තුල තියෙන අගුණ දුර්වල තාවයන් දුරුව යන අතර අප මානසිකව බොහෝම තැන්පත් සංයමයෙන් යුක්ත පිරිසක් බවට පත් වෙනු ඇත්තේ ය. එසේම ඒ තුලින් තව දුරටත් අවට ලෝකය දෙස නොව තමන් පිළිබදව දකින්නට සිතට ඉඩ හසර සැලසෙන්නේ ය. ඉහත කරුණු පහ මෝඩ කෙනෙකු ප්‍රඥාවන්තයෙකු කරනු ඇත. දුස්සීලයෙකු සීලවන්ත පිරිසිදු තැනැත්තෙකු කරනු ඇත.
සිතන්න මදක් බුදු රජාණන් වහන්සේ එදා මේඝිය හිමියන්ට වදාළ මේ උතුම් කරුණු පහ මැනවින් ඉගෙන එය ජිවිතයේ පැවැත්ම හා එකතු කරගත හොත් අප තුල මොන තරම්නම් යහපත් බවක් මෙන්ම පිරිසිදු බවක් ඇතිවේද, එසේම ජිවිතාව බෝධය තුලින් අපි ජිවිතය දකිනු ලබන අතර එය වරදින අයුරුත් නිවැරදි වන අයුරුත් මානසිකව දුක හදන අයුරුත් කැළඹිලි සහගත අසහන කාරී බවට සිත වැටෙන අයුරුත් ඔබට ප්‍රත්‍යක්ෂ කර ගැනීමට හැකි වනු ඇත. ඉහත සදහන් කරුණු පස වදාරණ බුදු රජානන් වහන්සේ යලිදු කරුණු කීපයක් ගැන මේඝිය හිමියන්ගේ අවධානයට යොමු කරයි.


" පිංවත් මේඝිය. මේ විදිහට හොදින් ධර්ම පුහුණුවේ යෙදෙන තැනැත්තා ඒ ‍ඉහත සදහන් කරුණු පහ තුල මනාව පුහුණු වෙමින්....රාගය (සිතේ පඤ්චකාමයන් කෙරෙහි ඇති ගිජු බව ) දුරු කරන්නට අසුබ සඤ්ඤාව වැඩිය යුතුය.


එසේම ද්වේෂය. (නොරිස්සුම් කම, තරහ ගතිය, කෝපය, බද්ධවෛරය වැනි අසහනකාරී මානසිකත්වයන්ගෙන් බැහැර වීම පිණිස) මෛත්‍රිය වැඩිය යුතුය.
එසේම මම වෙමී කියන හැගීම දුරු කර ගැනීම පිණිස අනිච්ච සඤ්ඤාව වැඩිය යුතුය.
අනිච්ච සඤ්ඤාව වඩනු ලබන කළ මේඝියෙනි ඔහුගේ සිතේ සටහන් වෙන්නේ ආනාත්ම සඤ්ඤාවයි අනත්ත (තමන්ට අවැසි ලෙස පවතින , තමන්ගේ පාලනයට යටත් ව පවතින කිසිවක් නැත යන) සඤ්ඤාවෙන් යුක්තව වාසය කරන විට මම වෙමි කියන හැගීම එනම් මමත්වය. සම්පුර්ණයෙන්ම දුරු වෙලා යනවා. ඒකට තමයි මේඝියෙනි මේ ජිවිතයේදීම අමා නිවන් සුව අවබෝධ කරගන්නවා කියලා කියන්නේ..


බුදු රජානන් වහන්සේ මෙය වදාළ සේක. ඒ පිංවත් මේඝිය ස්වාමීන් වහන්සේ බොහෝම සතුටින් ඒ දේශනාව පිළිගත්තා.


..........................................................................................................................................................................................................................................................
දැන සිටිය යුතු කරුණු...


මේඝිය හිමියන් ඉහත අඹ උයනට ගිය විට උන්වහන්සේට භාවනා කරන්නට නොහැකි වුයේ පෙර ආත්ම භාවයන් පන්සීයයක එහි රජකම් කළ නිසා බවක් අටුවාව ප්‍රකාස කරයි. එ‍් කෙසේ වෙතත් මේ සුත්‍ර දේශනාවේ අදහස හැටියට මා නම් වඩාත් ගරු කරන්නේ එවන් කිසි විසේසත්වයක් නැතත් අප සැමට තිබෙන පොදු ධර්මතාවය් වන මේ සිත එක අරමුණක පවත්වා ගැනීමට නොහැකි කමත් රාගයෙන් හා ද්වේෂයෙනුත් මෝහයෙනුත් නිතර කනස්සල්ලට පත් වීමත් යන මේවායින් දුරුව වාසය කරන්නටත් අමානිවනින් සැනසෙන්නටත් මේ ඉහත කාරණාවන් ප්‍රයොගිකව යොදා ගැනීමම වැදගත් බවයි.


මේ සුත්‍ර දේශනා‍ව පෙළ දේශනාවට අනුව අර්ථ දැක්වීම කර ඇති නමුත් වච‍නයෙන් වචනය නොමැතිව අදහසට කිසිදු හානියක් නොවන පරිදි පරිවර්ථනය කොට පළ කරන බව ප්‍රකාශ කරන අතර දහම් දැනුමින් යුතු සත්පුරුෂයන් විසින් මෙහිලා යම් අඩුපාඩුවක් දුටුවහොත් අප කෙරෙහිද මහත් අනුකම්පාවෙන් ඒවා පැහැදිලි කර දෙන මෙන්ද සිහිපත් කරම්හ.


සුත්‍රාගත කරුණු ගැන විටින් විට ලිපි කීපයක් පල කරමින්‍ මෙම සුත්‍ර දේශනාව ‍ඔස්සේ ඔබගේ දහම් දැණුම පෝෂණය කිරීමටද විවේක ඇති විටෙක උත්සාහ කරම්හ. සැම දෙනාටම තෙරුවන් සරණින් සැනසිල්ලක්ම වේවා..!!!

2 ක් ප්‍රතිචාර දක්වා ඇත:

Kanishka Dilshan said...

තෙරුවන් සරණයි!!!

chaturika said...

oba vahanseta boho pin athwewa!!!

Post a Comment