ධර්ම සාකච්ඡාව.

ප්‍රශ්නය...
ලෞකික හා ලෝකොත්තර ලෙස ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය ගැන අසා ඇත්තෙමි මෙහි ඇති වෙනස් පැහැදිලි කර දෙන්න
පිළිතුර...
ආර්‍ය අෂ්ඨාංගක මාර්ගය යනු ලෞකික ලෝකය තුල හිරවී මිදී ගත නොහැකිව සිටින ඉන්ද්‍රිය ස්පර්ෂ ලෝකයේ මායාවට රැවටී සිටින සත්වයන් ප්‍රකෘති සිහිය කරා ගෙන සැබෑ අවබෝධය තුලින් සත්‍යාවබෝධය කරා රැගෙන යන සත්‍යාව බෝධයේ මාවතයි. මේ උතුම් ප්‍රතිපදාවෙන් තොරව කිසිවෙකුටත් මේ ලෝකය තුල ඇති තණ්හා මාන දිට්ඨීන්ගෙන් මිදී යන මගක් නැත්තේ ය. 

අවිජ්ඣා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං ආයතිං පුනබ්භාවාභිනිබ්බත්තී හොති. අවිද්‍යාවෙන් වැසිච්ච තෘෂ්ණාවෙන් බැදීච්ච සත්වයෝ යලි යලිත් උපදෙමින් මැරෙන් ජරාමරණ උරුමව යන සසර ගමන යන්නේ ය යන ලෙසට බුදු රජාණන් වහන්සේ පහදා දී වදාළ අවිද්‍යා තෘෂ්ණා සංඛ්‍යාත මේ කෙලෙස් බල බිද සීල සමාධි ප්‍රඥාවන් වඩා සද්ධා විරිය සති ප්‍රඥා ඉන්ද්‍රිය ධර්මයන් වඩවා ගැනීමෙන් සියළු දුක් නිමා කරන්නට මග පාදා ගන්නේ මේ උතුම් ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය තුලිනි.

මෙබදු මහනීය වටිනාකමින් යුත් ඒ ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය නම්..
සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි. යන ‍අංග අටකින් යුක්ත ප්‍රතිපදාවය. මේ කියන ලද අංග අටකින් යුක්ත ප්‍රතිපදාව යම් කෙනෙකු තමන්ගේ ප්‍රායෝගික ජිවිතය තුල හුරු කරනවා නම් එවිට ඒ අනබෝධය තුල සිටින තැනැත්තා ධර්මාව බෝධයට පත් කරයි. ආර්‍ය සීලයෙන් තොර තැනැත්තා කරාද, ආර්‍ය සමාධියෙන් තොර තැනැත්තා ආර්‍ය සමාධිය කරාද , ආර්‍ය විමුක්තියෙන් තොර තැනැත්තා ආර්‍ය විමුක්තිය කරාද රැගෙන යන බැවින් මේ අංග අටින් යුතු ප්‍රතිපදාවට ආර්‍ය  අෂ්ඨාංගික මාර්ගය යයි කියා කියනු ලබයි. 

යවායංආයස්මා තේන අරියෙන අට්ඨංගිකේන මග්ගෙන සමන්නාගෝ සෝ සොතාපන්නොති වුච්චති. යයි බුදු රජාණන් වහන්සේ හා සැරියුත් මහරහතන් වහන්සේ අතර ඇති වු සාකච්ඡාවකදී සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ප්‍රකාසයක සදහන් වෙයි එහි තේරුම නම් යම් කෙනෙක් මේ අංග අටකින් යුතු මාර්ගයෙන් යුක්තද ඒ තැනැත්තා සොතාපන්න යයි කියනු ලබයි යන්නය. එසේ නම් ආර්ය අෂ්ඨාංගික මාර්ගය කරා යම් කෙනෙක් ගුණ වසයෙන් පැමිණේද එවිට ඒ තැනැත්තේ සොතාපන්න භාවයට පත් වන්නේ ය යන අදහසයි. 

එ‍සේ නම් මෙහිලා ආර්ය අෂ්ඨාංගික මාර්ගය ගැන  පාඩම් කර ගනිමින් පුහුණුවේ යෙදෙන කෙනාට ද සොතාපන්න යයි කිව හැකිදැයි කියා යමෙකුට සිතක් ඇති විය හැකිය. එම නිසා මේ කරුණ ගැන පැහැදිලි කල යුතුය. එනම් ආර්ය අෂ්ඨාංගික මාර්ගය කරා පැමීණීම ද මැනවින් ධර්ම පුහුණුවේ යෙදෙමින් ...ගොඩ නගන සද්ධා හිරි ඔත්තප්ප විරිය ප්‍රඥා යන පඤ්ච සේඛ  බල වඩන තැනැත්තාටම හැකි වෙන බවය. 

අනික්කසාවෝ කාසාවං යො වත්තං පරිදහෙස්සති  අපේතෝ දමසච්චචේන නසෝ කාසාව මරහතියි යනාදී ලෙසට දැක්වු සේ සිව්රක් පොරවා ගත්පමණින් ඔහු පැවිද්දෙකු නොවනවා සේම ආර්ය අෂ්ඨාංගික මාර්ගය පුහුණු වෙන අවස්ථාවේදීම ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙන් යුක්ත නො‍වන්නේ ය. සද්ධා හිරි ඔත්තප්ප ප්‍රඥා වැඩු පමණින් ධර්මාව බෝධය සිදු නොවන අතර ඒ සදහා සද්ධා විරිය සති සමාධි ප්‍රඥා අවැසි වේ එසේම  ආර්‍ය අෂ්ඨාංගික මාර්ග පුහුණුවේ යෙදෙන  තැනැත්තා ගමනක් යන තැනැත්තකු පිය වරෙන් පියවර පිය වරෙන් පියවර ඔහුගේ ඉලක්කයා කරා ඇදෙන්නා සේ දිනෙන් දින දිනෙන් දින පුහුණුවේ යෙදෙන කල ආර්‍ය ලාමක වු ආශාවන් කෙරෙන් සිත නිදහස් වෙමින්ද පඤ්ච නීවරණයන් කෙරෙන් සිත නිදහස් වෙමින්ද අවබෝධට සුදුසු පසුතලය නිර්මාණය වෙමින්ද ඔහු මැනවින් පුහුණුව ලබයි. 

මේ පුහුණුවේ  ප්‍රතිඵලයක් ලෙස ඔහු තුල ජිවිතය ගැන අවබෝධය හුදු දැනුමක් පමණක්ම නොවු ප්‍රත්‍යක්ෂතා‍වෙන් යුතු තත්වයක් මනස ඇසුරු කරන්නට පටන් ගන්නේ ය. එවිට ඔහු තුල ඇති වෙන අවබෝධය හා ඒ අවබෝධය නිසා වෙ සක්කාය දිට්ඨි  විච්කිච්ඡාදීන්ගේ බැහැර වීමෙන් යලිත් කිසි‍දිනෙක ආපසු නොහැරෙන සේ ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය තුල ස්ථාවර වන්නේ ය. ඉහත සාරිපුත්ත මහාරහතන් වහන්සේ වදාලේ එම තත්වයයට පැමිණීම ගැනය. 

එසේ වු කෙනෙකුකිසි දිනෙක  ලාමක වු අවිද්‍යාවේ මග පෙන්වීම ඔස්සේ කල්පනා නොකරන අතර ඔහුගේ හෝ ඇයගේ කායික ක්‍රියා හා වාචසික ක්‍රියා වලියද දිවිපැවැත්මද හුදු අවිද්‍යාවේ පිහිරීම පිණිසම පවතින්නේ ය. එසේම ඔහු තුල ඒ පිළිබද වු මැනවින් පිහිටන ලද වීර්‍යක් ඇති අතර ඔහුගේ මනසේ අවධානයද සත්‍යවබෝධය කරාම යොමු වු අවධානයක් බවට පත්ව ඇත්තේ ය. ඔහු සමාධීය පමණට වැඩු පුද්ගලයෙකු වන අතර මේ ඉහත සදහන් අංග අටින් යුතු වැඩ පිළිවෙලේම තවදුරටත් නිරත  වීමෙන් ප්‍රගුණ විමෙන් ඉතිරි මාර්ග පලයන් කරාද පැමිණෙමින් ඔහු ‍හෝ ඇය පරිපුර්ණ වු සත්‍යාවබෝධය සාක්ෂාත් කරගනු ලබන්නේ ය. එවිට ඔහු තුල ආර්‍ය සීලය සම්පුර්ණ වන අතර , ආර්‍ය සමාධියද සම්පුර්ණව පිහිටයි. ආර්‍ය ප්‍රඥාවේ  පරිපුර්ණ බවින් යුතු ඒ තෙමේ ආර්‍ය විමුක්තියෙන් යුතු රහතන් වහන්සේය.

මේ මා දැක්වුයේ ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය ඔස්සේ ඒ උතුම් වු අමා  ‍සුව කරා පුහුණුව හා එහි ප්‍රතිපලත් පිළිබද සරල දැනුවත් කිරීමකි. මේ ඉහත සදහන් ප්‍රායොගි ප්‍රතිපදාව කරා පැමිණෙන්නට නම් මුලින්ම සුචරිත ධර්මයන් හා සිත් බැදුණු කම්ඵල ඇදහීමේ ණුවන ආදී කොට උපන් සම්මා දිට්ඨියෙන් පෝෂණය ලබන ආර්‍ය අෂ්ඨාංගික මාර්ගයේ ප්‍රාථමික අවස්ථාවට යුතුය. එයද හරියට ගසක ලා දළු අවස්ථාව වැනිය.   ලා දළු අවස්ථාවේ එය ඉතාමත් මෘදු බවින් යුතු අතර  ගෙඩි හට ගැනීම පිනිස අවැසි වෙනස් කම් තවමත් ඒ තුල සිදු වී නැත. එය තවමත් පවතින්නේ පෙති දෙපෙති ලා දළු තත්වයේ ය. එසේ නමුදු බාහිර උපද්‍රවයකින් තොරවත් නියම ලෙස පොහොර හා ජලය ලබමින් හිමි හිමින් නමුදු වැඩෙන්නේ නම් එය යම් දිනක  ඵලදැරීම අවැසි සියල්ලෙන් සම්පුර්ණ වන මහ වෘක්ෂයක් බදු වන්නේ ය. 

ලද බොළද බවින් යුතු ළදැරියක තුලින් කාන්තාවක දැක්ක නොහැක. ඇය තුල වැඩුණු තරුණියක තුල ඇති  ආකර්ෂණීය බව ‍හා සිත් ඇද ගන්නා සිත් බදින ස්භාවය නැත්තේ ය. ඒ  කුඩා දැරිය තුල ඇත්තේ සුරතල්  අහිංසක පිවිතුරු බවක් පමණකි. ඉදුරන් මෝරා ගිය සිරුරක භාවාත්මක සංජානනයන් හා පෙළඹ වීම වැඩිය එහෙත් කුඩා කල එවැන්ක් ගැන කිසිදු බලාපොරොත්තුවක් තිබිය නොහැකි සේය. එසේම මේ ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය පිළිබද වුවද කිව යුත්තේ ඒය. එය තවමත් ලදරු අවස්ථාවේ පවතී. එය තවමත් වැඩෙමින් පවතින අතර පුර්ණ වර්ධනයට හා සංක්‍රිය තත්වයට තවමත් පැමිණ නැත. එනිසා එහි ඇත්තේ හුදෙක් මෘදු බවින් යුතු කාය වචී චිත්ත සමාචාරයන් උපදවීමේ සක්තියක් පමණි. මෙම අවස්ථාව මා හදුන්වන්නේ ලෞකික සම්මා දිට්ඨිය ලෙසය. එය එසේ හදුන්වනු ලබන්නේ ඒ තුලින් සිදුවන දෙයින් නිකෙලෙස් බවට පත් වීමක්  හෝ ලෝකොත්තර මාර්ගාංගයන්ගේ පහල වීමක් බලාපොරොත්තු ‍විය නොහැකි නිසාය. එම සම්මාදිට්ඨියෙන් පෝෂණය ලබන ආර්ය අෂ්ඨ අෂ්ඨාංගික මාර්ගය ලෞකික ලෙස කිය හැකිය.

ධර්ම ග්‍රන්ථයන් හී කම්මස්සකතා සම්මාදිට්ඨි‍ය හා පෙළ ගැසුණු ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය ලෞකික සම්මා දිට්ඨිය ලෙස දක්වන අතර ඉන් එහා ගියා චතුරාර්‍ය සත්‍ය අනුග්‍ර‍හයෙන් පෝෂණය ලබන සුළු වු සම්මා දිට්ඨිය මුල් කරගත් ආර්‍ය මාර්ගය ලොකොත්තර සම්මා දිට්ඨිය ලෙසද අර්ථ දක්වා 
ඇත.

මේ ඉහත සදහන් ආර්‍ය අෂ්ඨාංගි මාර්ගය ඔබ තුල ඇත්නම් ඔබ සතුටු විය යුතුය. නොමැති නම් උපදවා ගන්නට විරීය කලයුතුය.මෘදු බවින් හා ලා දළු තත්වයේ පවතින සම්මා දිට්ඨියට ආරක්ෂාවත් පෝෂණයත් ලබා දෙමින් මාර්ගාංගයන් ලෙස වැඩෙන්නට ඉඩ හසර සලසා දිය යුතුය. මේ අයුරින් වඩන ලද ආර්‍ය මාර්ගය ඔබව පුහුදුන් භුමියෙන් ඔසවා ආර්‍ය භුමියෙහි තැබුමට සමත් වන්නේ නම් එය ලෝකොත්තර සම්මා දිට්ඨියයි.


0 ක් ප්‍රතිචාර දක්වා ඇත:

Post a Comment