ධර්ම සාකච්ඡාව.

ප්‍රශ්නය...
පිනක් කරන විට මේ පින හේතුවෙන් අපට මේ මේ සැප සම්පත් ලැබේවායි සිතේ ඇතිවෙන හැගීම නිවන් මග අවුරනවාද ...?‍
Thejanu de silva


පිළිතුර....


ඉතාමත් ම වැදගත් ගැටළුවක් වන මෙය මැනවින් පහදා ගැනීමට අවැසි කරුණකි.


පඤ්චස්ඛන්ධයන් ගැන දකවන තැන සංස්ඛාරයන් ගැන මෙසේ සදහන් වෙයි. සංඛතං අභිසංකරොන්තීති. සංඛාරා. හේතු ප්‍රත්‍යයක් නිසා හටගත් දෙයක්. යලි යලිත් සංස්කරණය කිරීම සංස්කාර නම් වේ. රූපං රූපත්තාය සංඛතං අභිසංකරොන්ති. රූපය රූපයක් පිණිසම යලි යලිත් සංස්කරනය කරයි. යනාදී ලෙසින් දක්වන අර්ථ දැක්වීම එයට කදිම නිදසුනකි. 


සංස්කාරයන් තව දුරටත් විස්තර කරනු ලබන්නේ 
පුඤ්ඤාභිසංකාර
අපුඤ්ඤාභි සංකර
අනෙඤ්ජාභිසංඛාර


යනුවෙන් ඒවා වර්ගී කරණයට ලක්කල හැකිය. 


පුඤ්ඤාභිසංකාර යනු පුඤ්ඥමය වු චේතනාවය. එය සැප විපාක පිණිස පවතින සංස්කාරයකි.
අපුඤ්ඥාභිසංකාර යනු අකුසලමය චේතනාවය. එය සසර දුක් විපාක පිණිස පවතී
අනෙඤ්ජාභිසංකාර යනු මෙයින් සදහන් වන්නේ කාම ලෝකයේ විපාක පිණිස හේතුවන කුසල හෝ අකුසල චේතනාවලට එහා ගිය රූප අරුප ලෝකවල විපාක පිණිස පවතින ධ්‍යාණමය චේතනාය. 


අංගුත්තර තික නිපාතයේ එන භව සුත්‍රයන්හී සදහන් පරිදි. කාමලෝකයේ විපාක පිණිස කර්ම සකස් වු කල කාමලෝකයේ උපදින බවද , රූපලෝකයේ විපාක පිණිස කර්ම සකස් වු කල රූප ලෝකයේ උපදින බවද , අරූප ලෝකයේ  විපාක පිණිස කර්ම සකස් වු කල අරූප ලෝකයේ උපදින බවද සදහන් ය.  උපදින්නේ විපාක පිනිස කර්ම සකස් වෙන පිළිවෙලට අනුවය. එබැවින් අපගේ සිත තුල හටගන්නා වු චේතනාවේ ඉහල වැදගත් කමක් ඇත්තේ ය. කායික හෝ වාචසික ක්‍රියාවන් එකක් වන අතර අභ්‍යන්තර චේතනාව තව ‍එකක් විය හැකිය. එවිට විපාකය ගොඩ නැගෙන්නේ අභ්‍යන්තරව පවතින චේතනාවට අනුව මිස ‍බාහිර කායික හෝ වාචසික ක්‍රියාවට අනුව නොවේ.එබැවින් මේ පින හා පව ගැන එහෙම නැත්නම් කුසල හා අකුසල ගැන යම් අවබෝධයක් ඇති කර ගැනීම ඉතාමත්ම වැදගත් වෙයි. 


ඉදින් යම් කෙනෙක් පිනක් කරමින් යම් ප්‍රාර්ථනාවක් කරනු ලබන්නේ නම් ඒ ප්‍රාර්ථනාව ඉටු වීමට ඇති ඉඩ කඩ  ඒ තුලින් සැකසෙන බව ධර්ම ග්‍රන්ථයන් හී සදහන් වෙයි. ඉජ්ජතී භික්ඛවේ චොතෝපණිධි විසුද්ධත්තායි වදාළ පරිදිද එය පැහැදිලිය. අප පතන්නේ යමක් ද ඒ දේ ලබා දීමේ හැකියාවක් කර්මයට ඇත යන්න අපට විස්වාස කළ හැකි වුවද එය හැම විටම සක්‍රිය වන දෙයක් නම් නොවිය හැකිය කර්ම විසය වනාහි සිතේ සීමාව ඉක්මවා පවතින ධර්ම ස්භාවයකි.  එසේනම් අපේ පැතුමට අනුව හැම දේම ඉටු වන්නේ නම් මේ ලෝකය වඩාත් සුන්දරතර තැනක් වනු ඇත්තේ ය. බුදු රජාණන් වහන්සේ වදාලේ න ආයාචන හේතු වා පත්ථනා වා පටිලාබං වදාමී. ඉල්ලලා හෝ ප්‍රාර්ථන කරලා ලැබිය හැක්කත් ගැන නොපවසමි. 


කරුණු මෙසේ හෙයින් අප මේ පින ගැන තිබෙන බිය නම් නැති කර ගත යුතුමය බුදු රජාණන් වහන්සේ පිනට බිය නොවන ලෙස පහදා වදාළ සේක. අපගේ ප්‍රාර්ථනා නම් කෙලෙවරක් නොමැතිසේ පෙළ ගැසී ඇත්තේ ය. ඒවා ඒවාට සුදුසු ඉඩ කඩ ඇති කල්හී විපාක දෙනු ඇත. ඔබ නිකම්ම පිනට බය වීම ඔබට යහපත පිණිස නොපවතිනු ඇත එයින් ඔබ කබලින් ලිපට වුවද වැටී යා හැකිය. 


එබැවින් අප මෙහි සාධාරණ පිළිතුරක් දෙන්නට බලාපොරොත්තු වෙමී ඔබේ හැම පිනකදීම ඔබ කල යුතු වන්නේ සියළු කෙලෙසුන් නැති කොට අමා නිවන් සුව අවබෝධ කර ගැනීමට සිත පිහිටුවීමයි. එවිට ඔබ ගමනාන්තය දක්වා ලගා වෙන අතර ඒ මග දෙපස දේ හා අතර මග හැම දෙයක්ම ඔබට මුණ ගැසෙනු  ඇත ඔබට අවැසි නම් ඒවා බලාගෙන ‍යා හැකිය නොමැති නම් දෑස් පියාගෙන අතහැර දමා යා හැකිය. ඒ ගැන බියක් ඇති කර නොගන්න වැදගත් වන්නේ ඔබේ සිත පිහිටන විදිහය. ඔබ බුදු රජාණන් වහන්සේ වදාළ ‍තුලින්  ප්‍රඥාවන්ත වන්නේ නම් එවිට ඔබ මේ හැම අවුලකින් ම නිදහස් වනු ඇත්තේ ය. 


තවද පැහැදිලිව ම කිව යුත්තක් ඇත. පින් කොට නිවන් පතා පමණක් නම් කිසි දිනෙක නිවන් අවබෝධය නොවන බවය. ඒ සදහා වැඩිය යුතු සීල සමාධි ප්‍රඥාවන් නොවඩා ඔබ කිසි දිනෙක නිවනට ළගා නොවන්නේ ය. බුදු රජාණන් වහන්සේ සමග සිටි මාලුංඛ්‍ය පුත්ත තෙරණුවෝ පවසා සිටියේ ......දුක රැස් කරන දේවල් කරමින් සිටින විට නිවනින් දුරස් වෙනු විනා නිවනට ලං නොවන බවයි. " ඒවං ආචිනතෝ දුක්ඛං ආරා නිබ්බාණන්ති පවුච්චති" මෙය මැනවින් සිතට ගන්න. නිවන් මග එකක් වන අතර සසර සැප ලබන මග තවෙකකි. 
පිරිසිදුව මේ කර්මය සසර ගමනට හා නිවනට බලපානා අයුරු දැන ඉගෙන ගන්නට පහත සුත්‍ර දේශනාවන් ඉගෙන ගන්න..


ඡළාභිජාති සුත්‍රය.
කුක්කුර වතිය සුත්‍රය.
මා පුඤ්ඤභායි සුත්‍රය
සුමනා සුත්‍රය.
ඔබට සම්මා සම්බුදු සරණ වේවා. 


1 ක් ප්‍රතිචාර දක්වා ඇත:

Nobel Dhamma said...

http://www.facebook.com/video/video.php?v=1624048813921&oid=134872259873427

Post a Comment