නොමගින් සුමගට පැමිණ සමගියේ බලයෙන් ප්‍රයෝජන ගනිමු.

දහම් ලිපි...

සමගිව එකතු වන්න, සමගිව සාකච්ඡා කරන්න සමගිව විසිර යන්න මෙය වනාහී නොපිරීහීම පිණිස පවතින් උතුම් ගුණ ධර්මයන් වේ.

පරිණිර්වාණය පිණිස උපවත්තන සල්වනය කරා වඩින ගමනේ අතර මගදී බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්ම කරුණු බොහෝ වෙති. ඒ අතරින් සප්ත අපරිහාණිය ධර්මයන් සදහන් තැන කරුණු වලට අනුවයි මා ඉහත ප්‍රකාශනය කරන්නට යෙදුනේ....

එකමුතුව සමගි සම්පන්න බව සැබවින්ම ප්‍රසංසනීයය. එහෙත් අවාසනාවට එය අද බොහෝ විට ඇත්තේ විනාශයක් අභියසය. ජිවිතේ නොයෙක් දේවල් වලට පෙළඹෙන සිහළුන් අද ජාතියක් වශයෙන්ද සංස්කෘතියක් වසයෙන්ද ඉතාමත් සෝචනීය ඉරණමකට ගොදුරුව ඇතැයි කීම අසත්‍යක් හෝ අතිසොක්තියක් නොවේ. 

එයට හේතුව අපි යම් කිසිවකට විරුද්ධ වීම පිණිස එකමුතු වත් අපි ගුණය හා එකතුව නැති බැවිනි. ජාති වාදි හැගීමෙන් හෝ ආගම් වාදී හැගීමෙන් අපිට එකතු විය හැකිය. ජිවිතයට සැබෑ පිළිසරණ ලැබෙන මාවතට පැමිණ ඒකාත්මීය වීමට අපතුල කැමැත්තක් නැත. 

තිසරණ ලාභීන් ලෙස කටයුතු කරන්නේ කොහොමද, සීලවන්තයින් ලෙස ජාතියක් වයෙන් අප ගොඩනැගෙන්නේ කොහොමද, මේවැන්නක් ගැන කතිකාවතක් සමගියක් එක් රැස් වීමක් නැත. එය සැබැවින්ම සෝක ජනකය. 

විදුහල්පති වරුන් මැනේජර්වරුන් කරල බටහිර සංස්කෘතිය කරපින්නා ගන්නා පාලකයන්ගේ නොමග යැවීමට පක්ෂව කටයුතු කරන අපි සත්‍යයේ සංදේශයට කිසිදු ගරු සරුවක් නොකරමු  . මේ ජිවිතෙයේ ආර්ථික දියුණුව ගැන සිතන අපි මේ ජිවිතයේත් මතු සසරතුලත් අප උපදාවාගත යුතු වු  අධ්‍යාත්මික සුවයෙන් පිරුණු ජිවිතය පසෙකට විසිකර දමා කටයුතු කරමු. එයින් සිදු වන්නේ ආණි සුත්‍ර දේශණාවේ වදාළ පරිදි මිහිගු බෙරය වෙනුවට ඇණ ගොඩට තලන්නාක් මෙන් ජාතියත් ආගමත් රැක ගන්නා කල හුදෙක් ඒවා හුදු චාරිත්‍ර විධියක් පමණක් ම වනු ඇති. 

එබැවින් එක් වන්න මනා ලෙස තිසරණය සමග. ඔබේ ජිවිතයේ නියමුවා ඒ උතුම් තිසරණය කරගන්න. ඔබේ ජිවිතයේ හෑම ගැටළුවක් හමුවේම ඉහලින්ම ධර්මය තබාගන්න. පින්වත් ස්වාමීන් වහන්සේලාගේ ඇසුරින් ලෞකික ජිවිතයේ අගුණ දුර්වලතාවයන් හා අඩුපාඩුකම් ගැනද , ඒවාට මුහුණ දිය යුතු පිළිවෙල පිළිබදවද, අධ්‍යාත්මික සිලසමාධිප්‍රඤාදියෙහි මතුවෙන ගැටළු නිරාකරණය පිණිසද අනුසාසනාවන් ලබාගන්න. 

ඒ සදහා සමිති සම්මන්ත්‍රණ සභා ආදිය තැබීම නොව ඔබ ඉන්න තැන සිට පටන් ගන්න හෙට නොව අද සිට ආරම්භ කරන්න ලබාගන්නා දේට අනුව නොව තියෙන දේට අනුව ජිවිතය ගොඩනගන්න එවිට මේ එකමුතුව සැබෑ නිවහල් නිදහස් සැනසුන පිරිසක් බවට පත්වීමට අපට හේතු වනු ඇති.

දහම් ලිපි...

අඳුරු ලොවට සුහද අරුණෑල්ලක්...



ඔබ දුකට පත් වන්නේ පෙර වු දෙයක් නිසා හෝ ඉදිරියෙදි වෙන දෙයක් නිසා නොව මේ මොහොතේ ඔබේ සිතිවිල්ල හා බැදුණු දේ නිසාය. වර්ථමාන මොහොත ගැන අවධානයෙන් හා අවබෝධයෙන් විසිය හැකි නම් දුක හට ගන්නා හේතුව වැඩි දුරක නොවන බව ඔබට වැටහේවි. හඩන වැලපෙන සැලෙන ලෝකයෙන් මිදී අමා සැනසුම් ලබන මාවතට එය ඔබට මග කියාවී.ලෝකය අපට කරදර කරන්නේ යයි සිතන හැම විටම ඔබ ලෝකයට ඇත්තටම  කරන වද හිංසා මොනවාදැයි සිතා බලන්න. ඔබ ලෝකයට පිඩා කරනු නොලබන්නේ නම් අන් අයද එසේ  කරනු ලබන්නේ මක් නිසාද. ඔබ ඔබ ගැන අවබෝධයෙන් පසු වේනම් මේ හැම ගැටළුවකටම පිළිතුරක් තිබේ.  

ඔබ විටක දුකට පත්වෙන සිදුවීම ගැන මදක් සිතා බලන්න එය මනසේ නිර්මාණය වන සිතිවිල්ලක් වන අතර  නිරුද්ධ වී යන්නකි. එසේ නමුත් අප කරනු ලබන්නේ එය යලි යලිත් ඇති කරගැනීමට හේතු හදා ගන්නා එකය. ඔබට කිසිවෙක් බල්ලා යයි කියා බැන්නේ යයි සිතන්න එය මතක් කරන හැම විටම ඔබම ඔබට බල්ලා කියා කී වරක් නම් කියා ගන්නවා ද ? අතහරින්න අල්ලා නොගන්න එවිට ජිවිතයේ සැබෑ සැනසිල්ලට ඔබට ලගා විය හැකිය. 

කියන්නට පහසු නමුත් කරන්නට මෙය සත්‍ය වසයෙන්ම අපහසුය. අපහසුව ඇත්තේ අප තුල තවමත් හිතුවක්කාරකම හා නොසැලකිල්ල නොසෑහෙන්නට තියෙන නිසාය. රාගය ‍ද්වේෂය මෝහය කැමැති සේ වැඩෙන සිතක එයට වඩා දෙයක් තිබිය හැකි නොවේ. එබැවින් ඔබ ඔබේ ජිවිතය ගැන මදක් සැලකිලි මත් වෙන්න. එසේ කර ඔබ තුල යම් කිසි සංවර බවක් ගොඩ නගාගෙන ලෝකයට කන්දෙන්න. හැම දෙයක්ම බුදු රජාණන් වහන්සේ වදාළ ධර්මයට අනුව ගලපන්න ලෝකය ඔබට හැම විටම ධර්මයේ භාෂාවෙන් කතා කරනබව ඔබට වැටහේවි. තෙරුවන් සරණයි.

ධර්ම සාකච්ඡාව.

ප්‍රශ්නය...
ලෞකික හා ලෝකොත්තර ලෙස ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය ගැන අසා ඇත්තෙමි මෙහි ඇති වෙනස් පැහැදිලි කර දෙන්න
පිළිතුර...
ආර්‍ය අෂ්ඨාංගක මාර්ගය යනු ලෞකික ලෝකය තුල හිරවී මිදී ගත නොහැකිව සිටින ඉන්ද්‍රිය ස්පර්ෂ ලෝකයේ මායාවට රැවටී සිටින සත්වයන් ප්‍රකෘති සිහිය කරා ගෙන සැබෑ අවබෝධය තුලින් සත්‍යාවබෝධය කරා රැගෙන යන සත්‍යාව බෝධයේ මාවතයි. මේ උතුම් ප්‍රතිපදාවෙන් තොරව කිසිවෙකුටත් මේ ලෝකය තුල ඇති තණ්හා මාන දිට්ඨීන්ගෙන් මිදී යන මගක් නැත්තේ ය. 

අවිජ්ඣා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං ආයතිං පුනබ්භාවාභිනිබ්බත්තී හොති. අවිද්‍යාවෙන් වැසිච්ච තෘෂ්ණාවෙන් බැදීච්ච සත්වයෝ යලි යලිත් උපදෙමින් මැරෙන් ජරාමරණ උරුමව යන සසර ගමන යන්නේ ය යන ලෙසට බුදු රජාණන් වහන්සේ පහදා දී වදාළ අවිද්‍යා තෘෂ්ණා සංඛ්‍යාත මේ කෙලෙස් බල බිද සීල සමාධි ප්‍රඥාවන් වඩා සද්ධා විරිය සති ප්‍රඥා ඉන්ද්‍රිය ධර්මයන් වඩවා ගැනීමෙන් සියළු දුක් නිමා කරන්නට මග පාදා ගන්නේ මේ උතුම් ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය තුලිනි.

මෙබදු මහනීය වටිනාකමින් යුත් ඒ ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය නම්..
සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි. යන ‍අංග අටකින් යුක්ත ප්‍රතිපදාවය. මේ කියන ලද අංග අටකින් යුක්ත ප්‍රතිපදාව යම් කෙනෙකු තමන්ගේ ප්‍රායෝගික ජිවිතය තුල හුරු කරනවා නම් එවිට ඒ අනබෝධය තුල සිටින තැනැත්තා ධර්මාව බෝධයට පත් කරයි. ආර්‍ය සීලයෙන් තොර තැනැත්තා කරාද, ආර්‍ය සමාධියෙන් තොර තැනැත්තා ආර්‍ය සමාධිය කරාද , ආර්‍ය විමුක්තියෙන් තොර තැනැත්තා ආර්‍ය විමුක්තිය කරාද රැගෙන යන බැවින් මේ අංග අටින් යුතු ප්‍රතිපදාවට ආර්‍ය  අෂ්ඨාංගික මාර්ගය යයි කියා කියනු ලබයි. 

යවායංආයස්මා තේන අරියෙන අට්ඨංගිකේන මග්ගෙන සමන්නාගෝ සෝ සොතාපන්නොති වුච්චති. යයි බුදු රජාණන් වහන්සේ හා සැරියුත් මහරහතන් වහන්සේ අතර ඇති වු සාකච්ඡාවකදී සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ප්‍රකාසයක සදහන් වෙයි එහි තේරුම නම් යම් කෙනෙක් මේ අංග අටකින් යුතු මාර්ගයෙන් යුක්තද ඒ තැනැත්තා සොතාපන්න යයි කියනු ලබයි යන්නය. එසේ නම් ආර්ය අෂ්ඨාංගික මාර්ගය කරා යම් කෙනෙක් ගුණ වසයෙන් පැමිණේද එවිට ඒ තැනැත්තේ සොතාපන්න භාවයට පත් වන්නේ ය යන අදහසයි. 

එ‍සේ නම් මෙහිලා ආර්ය අෂ්ඨාංගික මාර්ගය ගැන  පාඩම් කර ගනිමින් පුහුණුවේ යෙදෙන කෙනාට ද සොතාපන්න යයි කිව හැකිදැයි කියා යමෙකුට සිතක් ඇති විය හැකිය. එම නිසා මේ කරුණ ගැන පැහැදිලි කල යුතුය. එනම් ආර්ය අෂ්ඨාංගික මාර්ගය කරා පැමීණීම ද මැනවින් ධර්ම පුහුණුවේ යෙදෙමින් ...ගොඩ නගන සද්ධා හිරි ඔත්තප්ප විරිය ප්‍රඥා යන පඤ්ච සේඛ  බල වඩන තැනැත්තාටම හැකි වෙන බවය. 

අනික්කසාවෝ කාසාවං යො වත්තං පරිදහෙස්සති  අපේතෝ දමසච්චචේන නසෝ කාසාව මරහතියි යනාදී ලෙසට දැක්වු සේ සිව්රක් පොරවා ගත්පමණින් ඔහු පැවිද්දෙකු නොවනවා සේම ආර්ය අෂ්ඨාංගික මාර්ගය පුහුණු වෙන අවස්ථාවේදීම ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙන් යුක්ත නො‍වන්නේ ය. සද්ධා හිරි ඔත්තප්ප ප්‍රඥා වැඩු පමණින් ධර්මාව බෝධය සිදු නොවන අතර ඒ සදහා සද්ධා විරිය සති සමාධි ප්‍රඥා අවැසි වේ එසේම  ආර්‍ය අෂ්ඨාංගික මාර්ග පුහුණුවේ යෙදෙන  තැනැත්තා ගමනක් යන තැනැත්තකු පිය වරෙන් පියවර පිය වරෙන් පියවර ඔහුගේ ඉලක්කයා කරා ඇදෙන්නා සේ දිනෙන් දින දිනෙන් දින පුහුණුවේ යෙදෙන කල ආර්‍ය ලාමක වු ආශාවන් කෙරෙන් සිත නිදහස් වෙමින්ද පඤ්ච නීවරණයන් කෙරෙන් සිත නිදහස් වෙමින්ද අවබෝධට සුදුසු පසුතලය නිර්මාණය වෙමින්ද ඔහු මැනවින් පුහුණුව ලබයි. 

මේ පුහුණුවේ  ප්‍රතිඵලයක් ලෙස ඔහු තුල ජිවිතය ගැන අවබෝධය හුදු දැනුමක් පමණක්ම නොවු ප්‍රත්‍යක්ෂතා‍වෙන් යුතු තත්වයක් මනස ඇසුරු කරන්නට පටන් ගන්නේ ය. එවිට ඔහු තුල ඇති වෙන අවබෝධය හා ඒ අවබෝධය නිසා වෙ සක්කාය දිට්ඨි  විච්කිච්ඡාදීන්ගේ බැහැර වීමෙන් යලිත් කිසි‍දිනෙක ආපසු නොහැරෙන සේ ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය තුල ස්ථාවර වන්නේ ය. ඉහත සාරිපුත්ත මහාරහතන් වහන්සේ වදාලේ එම තත්වයයට පැමිණීම ගැනය. 

එසේ වු කෙනෙකුකිසි දිනෙක  ලාමක වු අවිද්‍යාවේ මග පෙන්වීම ඔස්සේ කල්පනා නොකරන අතර ඔහුගේ හෝ ඇයගේ කායික ක්‍රියා හා වාචසික ක්‍රියා වලියද දිවිපැවැත්මද හුදු අවිද්‍යාවේ පිහිරීම පිණිසම පවතින්නේ ය. එසේම ඔහු තුල ඒ පිළිබද වු මැනවින් පිහිටන ලද වීර්‍යක් ඇති අතර ඔහුගේ මනසේ අවධානයද සත්‍යවබෝධය කරාම යොමු වු අවධානයක් බවට පත්ව ඇත්තේ ය. ඔහු සමාධීය පමණට වැඩු පුද්ගලයෙකු වන අතර මේ ඉහත සදහන් අංග අටින් යුතු වැඩ පිළිවෙලේම තවදුරටත් නිරත  වීමෙන් ප්‍රගුණ විමෙන් ඉතිරි මාර්ග පලයන් කරාද පැමිණෙමින් ඔහු ‍හෝ ඇය පරිපුර්ණ වු සත්‍යාවබෝධය සාක්ෂාත් කරගනු ලබන්නේ ය. එවිට ඔහු තුල ආර්‍ය සීලය සම්පුර්ණ වන අතර , ආර්‍ය සමාධියද සම්පුර්ණව පිහිටයි. ආර්‍ය ප්‍රඥාවේ  පරිපුර්ණ බවින් යුතු ඒ තෙමේ ආර්‍ය විමුක්තියෙන් යුතු රහතන් වහන්සේය.

මේ මා දැක්වුයේ ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය ඔස්සේ ඒ උතුම් වු අමා  ‍සුව කරා පුහුණුව හා එහි ප්‍රතිපලත් පිළිබද සරල දැනුවත් කිරීමකි. මේ ඉහත සදහන් ප්‍රායොගි ප්‍රතිපදාව කරා පැමිණෙන්නට නම් මුලින්ම සුචරිත ධර්මයන් හා සිත් බැදුණු කම්ඵල ඇදහීමේ ණුවන ආදී කොට උපන් සම්මා දිට්ඨියෙන් පෝෂණය ලබන ආර්‍ය අෂ්ඨාංගික මාර්ගයේ ප්‍රාථමික අවස්ථාවට යුතුය. එයද හරියට ගසක ලා දළු අවස්ථාව වැනිය.   ලා දළු අවස්ථාවේ එය ඉතාමත් මෘදු බවින් යුතු අතර  ගෙඩි හට ගැනීම පිනිස අවැසි වෙනස් කම් තවමත් ඒ තුල සිදු වී නැත. එය තවමත් පවතින්නේ පෙති දෙපෙති ලා දළු තත්වයේ ය. එසේ නමුදු බාහිර උපද්‍රවයකින් තොරවත් නියම ලෙස පොහොර හා ජලය ලබමින් හිමි හිමින් නමුදු වැඩෙන්නේ නම් එය යම් දිනක  ඵලදැරීම අවැසි සියල්ලෙන් සම්පුර්ණ වන මහ වෘක්ෂයක් බදු වන්නේ ය. 

ලද බොළද බවින් යුතු ළදැරියක තුලින් කාන්තාවක දැක්ක නොහැක. ඇය තුල වැඩුණු තරුණියක තුල ඇති  ආකර්ෂණීය බව ‍හා සිත් ඇද ගන්නා සිත් බදින ස්භාවය නැත්තේ ය. ඒ  කුඩා දැරිය තුල ඇත්තේ සුරතල්  අහිංසක පිවිතුරු බවක් පමණකි. ඉදුරන් මෝරා ගිය සිරුරක භාවාත්මක සංජානනයන් හා පෙළඹ වීම වැඩිය එහෙත් කුඩා කල එවැන්ක් ගැන කිසිදු බලාපොරොත්තුවක් තිබිය නොහැකි සේය. එසේම මේ ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය පිළිබද වුවද කිව යුත්තේ ඒය. එය තවමත් ලදරු අවස්ථාවේ පවතී. එය තවමත් වැඩෙමින් පවතින අතර පුර්ණ වර්ධනයට හා සංක්‍රිය තත්වයට තවමත් පැමිණ නැත. එනිසා එහි ඇත්තේ හුදෙක් මෘදු බවින් යුතු කාය වචී චිත්ත සමාචාරයන් උපදවීමේ සක්තියක් පමණි. මෙම අවස්ථාව මා හදුන්වන්නේ ලෞකික සම්මා දිට්ඨිය ලෙසය. එය එසේ හදුන්වනු ලබන්නේ ඒ තුලින් සිදුවන දෙයින් නිකෙලෙස් බවට පත් වීමක්  හෝ ලෝකොත්තර මාර්ගාංගයන්ගේ පහල වීමක් බලාපොරොත්තු ‍විය නොහැකි නිසාය. එම සම්මාදිට්ඨියෙන් පෝෂණය ලබන ආර්ය අෂ්ඨ අෂ්ඨාංගික මාර්ගය ලෞකික ලෙස කිය හැකිය.

ධර්ම ග්‍රන්ථයන් හී කම්මස්සකතා සම්මාදිට්ඨි‍ය හා පෙළ ගැසුණු ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය ලෞකික සම්මා දිට්ඨිය ලෙස දක්වන අතර ඉන් එහා ගියා චතුරාර්‍ය සත්‍ය අනුග්‍ර‍හයෙන් පෝෂණය ලබන සුළු වු සම්මා දිට්ඨිය මුල් කරගත් ආර්‍ය මාර්ගය ලොකොත්තර සම්මා දිට්ඨිය ලෙසද අර්ථ දක්වා 
ඇත.

මේ ඉහත සදහන් ආර්‍ය අෂ්ඨාංගි මාර්ගය ඔබ තුල ඇත්නම් ඔබ සතුටු විය යුතුය. නොමැති නම් උපදවා ගන්නට විරීය කලයුතුය.මෘදු බවින් හා ලා දළු තත්වයේ පවතින සම්මා දිට්ඨියට ආරක්ෂාවත් පෝෂණයත් ලබා දෙමින් මාර්ගාංගයන් ලෙස වැඩෙන්නට ඉඩ හසර සලසා දිය යුතුය. මේ අයුරින් වඩන ලද ආර්‍ය මාර්ගය ඔබව පුහුදුන් භුමියෙන් ඔසවා ආර්‍ය භුමියෙහි තැබුමට සමත් වන්නේ නම් එය ලෝකොත්තර සම්මා දිට්ඨියයි.


ධර්ම සාකච්ඡාව.

ප්‍රශ්නය...
රූපය පෙණ පිඩකට උපම කොට දක්වා ඇත්කේ කුමක් නිසාද ? එය බිදි බිදි යන නිසාද .? එහෙත් සමහර පෙණ පිඩු බීදි නොගොස් තියෙනවා දැක ඇත්තෙමි. මේ ගැන වඩාත් හොදින් වටහා ගැනීම පිනිස පහදා දෙන්න.
තේජානු ද සිල්වා.

පිළිතුර...
ඔබ මේ පවසන්නේ.. පේණ පිණඩුපම නම් වු සුත්‍ර දේශනාවේදී බුදු රජාණන් වහන්සේ වදාළ උපමාව ගැනයි පඤ්චස්ඛන්ධයට ‍එහි ඇති උපමාවන් තරම් වෙනත් උපමාවක් නොමැති තරම්ය. ඒවා එතරම්ම නිවැරදි බවින් යුතු වන අතර අර්ථයෙන්ද සුපරිපුර්ණය. ඒ ගැන එම සුත්‍ර දේශනාව අවසානයේ දක්වා ඇති ගාථාවේ සදහන් වන්නේ මෙසේය.

ඵෙණපිණ්ඩුපමං රූපං
වේදනා බුබ්බුලූපමා
මරිචීකූපමා සඤ්ඤා
සංඛාරා කදලූපමා
මායුපමඤ්ච විඤ්ඤාණං
දේසිතාදිච්ච බන්ධුනා.

රූපය ඵෙණපිඩක් වැනිය,වේදනාව දිය බුබුලක් වැනිය, සඤ්ඤාව මිරිගුවක් වැනිය, සංස්කාරයන් කෙසෙල් වනයක් වැනිය, විඤ්ඤාය මායා කාරයෙකු බදුයයි ආදිච්ච බන්ධු වු බුදු රජානන් වහන්සේ විසින් දේශනා කරන ලදි.

අසා ඇත්තේ රූපය සම්බන්ධ උපමාව ගැන බැවින් මෙතැන් සිට ඒ ගැන කරුණු කියමි.
චත්තාරෝ ච මහාභුතා චතුණ්නඤ්ච මහා භුතානං උපාදාය රූපං...සතර මහා ධාතුත් ඒවායෙන් සකස් වු යම් දෙයක් වෙද් ද ඒ සියල්ල  රූප නම් වේ. මේවාට රූප යයි කියනු ලබන්නේ කුමක් නිසාදැයි රාධ නම් භික්ෂුවට බුදු රජානන් වහන්සේ මෙසේ පැහැදිලි කොට වදාළ සේක. රුප්පතීති ඛො රාධ තස්මා රූපන්ති වුච්චති. කැඩි බිදී නැසී විනාස වී යන ස්භාවයට අයත් බැවින් මේවාට රූප යයි කියනු ලැබේ. මේවා වෙනස් වන්නේ සීතලෙන් උණුසුමෙන්, යනදී හේතුන් ද එහි දක්වා ඇත.

මෙබදු ස්භාව ඇති රූපය ඵෙණ පිඩකට සමාන යයි බුදු රජානන් වහන්සේ දක්වා වදාළ සේක. ‍‍‍‍ඵෙණ පිඩක ස්භාවය. ටිකින් ටික මතු පිටට නොපෙනුනත් බිදී බිදී ‍බිදී යාමය. ශරීරයේද ස්භාවය එයම නොවේද මෙය කාලයක් මතුපිටට පෙනෙන සේ පිම්බී තිබුනද ලෙඩක් දුකක් හැදුණ විට හැකීලී යන්නේ අව්වේ දමන ලද බට දන්ඩක් වියළී යන්නා සේය. එසේම ජරාවට පත් වීමේදී හම රැලි වැටීම් ආදීයද එයට හොදම උදාහරණය. මෙසේ අභ්‍යන්තර බාහිර වසයෙන් මේ රූපය විවිධ හේතුන් නිසා වෙනස් වී යන්නේ ය. ඵෙණ කැටියක් දෙස බලා සිටින්න එය එක් කෂණයේම නොවුනත් හිමි හිමින් බිදී යන අයුරු ඔබට දැක ගත හැකි වෙනු ඇත. ‍එසේ ඵෙණ කැටියක සිදුවන ක්‍රියාකාරිත්වය රූපයට සිදුවෙන දේට සමාන බැවිනි බුදු රජාණන් වහන්සේ ඒ ගැන එසේ සදහන් කොට ඇත්තේ .මේ තුලින් තමා අයත් නොවන සතර මහා ධාතුන්ට අයත් මේ රූපය ගැන යම් කිසි අවබෝධයක් ඇති කරගන්නට මගපාදා දීම බුදු රජාණන් වහන්සේගේ අරමුණයි. මේ වැනි නිසරු වු රූපයට ඇලෙන බැදෙන අප ඒ ගැන අවබෝධයක් නොමැති කමින් අන්තිමේදී මහත් දුකටත් ව්‍යසණයටත් ගොදුරු වන්නේ ය.

රූප උපාදානය නිසා නොයෙක් අකුසලයට වැටෙන සිත ඒ නිසා සතර අපාදියටද වැටෙන බව ධර්මය තුල මැනවින් පැහැදිලි කොට ඇත්තේ ය. එබැවින් ඵෙණ පිඩක් බදු වු රූපයෙහි නොඇලී ජිවිතය පිළිබද අවබෝධයක් ලබා ගනිමින් නිවන් මගට ‍සත්‍යාවබෝධයේ මාවතට පිවිසෙත්වා. එය අප සැම‍ගේම ජිවිත තුල ඇති සියළු දුක් නිවා සනසන උතුම් වැඩ පිළිවෙල බවට පත්වෙනු ඇති.

ධර්ම සාකච්ඡාව.

ප්‍රශ්නය...
සාමාන්‍ය ජිවිතයේ දී කම්මැලි කමින් තොරව අපගේ වැඩ කටයුතු කරගැනීමට (විශේෂයෙන් අධ්‍යාපනය වැනි) උදව් වෙන අප විසින් පිලිපැදිය යුතු යම් ධර්ම කරුණු වෙත් නම් පඤ්ච නීවරණයන් හා සබැදීව ඒ ගැන පහදා දෙන්න.


පිළිතුර...
ඉතාමත්ම දිග ලිපියක් වුවද කම්මැලි කම මගහරවා ගැනීම පිනිසවත් කම්මැලි නොවී කියවන ලෙස මතක් කරන්න කැමැතියි.

බොහෝ අය බුදු දහම යනු පරලොව ජිවිතයේ යහපත පිණිස පවතින හෝ නැතිනම් තමන්ගේ ජිවිතයට කරදරයක් වු විටදී පිහිට ලබා ගැනීම පිණිස ය යනුවෙන් කල්පනා කරති. එබැවින් මේ ජිවිතයේදී ධර්ම ඇසුර ලබමින් මේ ජිවිතයේදීම ලබාගත හැකි අමිල සහනයත් ප්‍රයෝජනයත්  නොලැබී යන බව කිව යුතුය. එබැවින් මේ ජිවිතයේ විවිධ සාර්ථකත්වයන් සදහා මේ ධර්මය ප්‍රායොගිකව  යොදා ගැනීම ගැන අසන මේ ගැටළුව ගැන විසදුමක් ලබාදීමට ප්‍රථම අපගේ ප්‍රසංසාව යොමුකල යුතුය.

කම්මැලිකම හෝ විර්ය යනු අපගේ ජිවිතයේ කය හා බැදුණු දෙයක් නොව මනස හා බැදුණු දෙයකි. විර්ය යනු මානසිකව අප උපදවා ගත යුතු ධර්මතාවයකි. එසේම කම්මැලි කම ගැන ද පැවසිය යුත්තේ එයයි. කම්මැලි කමට ගැන දහන් නීවරණය ථීනමිද්ධ  චිත්ත චෛතසිකයන්ගේ මැලි බව යනුවෙන් මෙය අර්ථ ගන්වයි. එබැවින් පළමුව අප දැන සිටිය යුතු දෙයක් නම් මෙම කම්මැලි කම මානසිකව අප තුල ඇතිවෙන්නක් මිස කායිකව ඇති වෙන්නක් නොවන බවය. තවත් පැහැදිලි කරතොත්. එය මෙසේය.

ඔබ ඔබේ ජිවිතයේ කැමැතිම දෙයකට සුදානම් වෙනවා යයි සිතන්න එවිට ඔබ තුල ඇත උනන්දුවත් කැපවීමත් අති මහත්ය. ඔබ යහළුවන් සමග කල්ලි ගැසෙන්නට ආසා කෙනෙක්නම් නැත්නම් කම්පියුටර් එකක් ලග රැදී එහි වැඩ කටයුතු කරන්නට ආසා කෙනෙක්නම් මදක් සිතන්න කායික කිසිදු දුර්වල කමක්ද නොදැනෙන අතර එහි යෙදීමට සිතද කිසිම බාධාවක් හෝ කම්මැලි කමක් ඇති නොකරයි. මේ ගැන හොද හැටි සිතා බලන්න.  කම්මැලි කම කියන දෙය සත්‍ය වසයෙන්ම තිබෙන්නේ කායිකව නම් ඔබට ඒ ගැනද කම්මැලි කමක් ඇති විය යුතුය. එබැවින් කම්මැලි කම යනු කායිකව දැනෙනමුත් මානසිකව පවතින මැනවින් දැනගෙන බැහැර කල යුතු නීවරණයකි. එබැවින් ඔබ විසින් අසා ඇති ප්‍රශ්නය බොහෝ දෙනෙකුගේ ජිවිතවලට තෙරුම් ගන්නවා නම් ආලොකයක් ලැබෙන පිලිවෙලකි.

පාඩම් වැඩ වලට කම්මැලි කම් කරන බොහෝ අය සෙල්ලම් කිරීමට හෝ කම්පියුටර් ගේම් ගැසීමට කඩිසරව වැඩ කරති.  පාඩමට කම්මැලිවන්නටත් ඒවාට කම්මැලි නොවන්නටත් ඇති හේතුව මදක් සිතා බලන්න ඔබ පාඩමට දක්වන කැමැත්තත් අවධානයත් අඩුය නමුත් කම්පියුටර් ගේම් එකට දක්වනා අවධානයත් ඇල්මත් වැඩිය. ඔබේ කම්මැලි කමට හේතුව දැන් ඔබට තේරෙනවාද. ඔබට ඔබේ පාඩම නිසා සතුටක් ඇති නොවේ. එය මනස ඉක්මනින්ම වෙහෙස කරවන්නේ ඒ නිසාය. නමුත් එයින් බැහැර වෙන ඕනැම දෙයක් කිරීමට ඔබ එයට වඩා කැමැත්තක් දක්වයි මෙය අපගේ සිත් තුල තියෙන අරති යන පාලි වචනයෙන් දක්වන ධර්මතාවයයි. එහි තේරුම කුසල ධර්මයන්‍ තුල නොඇල්ම. අකුසලයට බර සිතට කුසලය ගැන වටිනාකමක් නැත එය එසේ වන්නේ කුසලයට වඩා අකුසලයේ වටිනාකමක් නිසා නොව අප වැඩි වටිනාකමක් දෙන්නේ අකුසලයට නිසාය. මෙය රටක් දියුණු වෙනවාට විරුද්ධව ඒ රටට ඇතුළු වී දියුණුව අඩාල කරමින් යහළු වේසයෙන් සිටින එන් ජී ඕ කාරයෙකු වගේය. සිතත් සමගම පවතින මේ කුසල ධර්මයන් කෙරෙහි නොඇලෙන ගතිය අපිට හිතවත් බවත් පා අකුසලයට අපව යොමු කරවයි. එබැවින් මේ ගැන ඔබ ඔබේ අවධානය යොමු කර බැලිය යුතුය. 

එසේ නම් ඒ අකුසල පාක්ෂික වු අපව දුරුවල කරන සුළු කුසල ධර්මයන්හි නොඇල්ම නොහොත් අරතිය නැති කර ගැනීම පිනිස අප යමක් කල යුතුය  ඔබ මේ කාරණාවට දක්ෂ නම් ඔබට කම්මැලි කම ජයගැනීම හරිම පහසු කාරනාවකි. අරතිය නැති කිරීමට කල යුතු වන්නේ වටිනාකම් දකිමින් ඔබට කල යුතු දේ අගය සිතට වටහා දීමයි. එනම් ඔබ කරන පාඩම් වැඩ සැබැවින්ම ඉතාමත්ම වටිනා දේවල් හැටියට සිතට ඒත්තු ගැන්වීය හැක්කේ ඒ අනුවය.
01  ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ චරිතාදර්ශ හා අද්දැකීම් ගැන කියවන්න. ඔබ තුලත් එවැන්නකු වීමේ කැමැත්තක් ඇති වේවි. එවිට ඔබ එවැන්නකු වීම සදහා පාඩම් කල යුතුය. මෙය එක්තරා ක්‍රමයකි.භික්ෂුන් වහන්සේලා වන අපට බුදු රජානන් වහන්සේ වදාලේ සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතුන් වහන්සේලා වැනි වෙන්නට සිත තබන ලෙසය. 

02 ඔබ ඔබට අභිමානයක් වන්නටත් සමාජයට ආදර්ශයක් වන්නටත් හැමදාම සිතට අදහසක් දෙන්න. බුදු රජාණන් වහන්සේ දේශනා කොට වදාලේ හැම විටම තමන්ටත් අනුන්ටත් වටිනා දේවල් කරන කෙනෙකු වන්නට සිතන ලෙසය.

03.එසේම පාඩම් පොත් ඉතාමත්ම ආදරයෙන් රැක ඒවා ලස්සනටත් පිළිවෙලටත් තබා ගන්න. ඒසේම පාඩම් කරන පරිසරය සිතට නිදහසක් දෙන පරිසරයක් කර ගන්න. පාඩම් කරන පිළිවෙල සිතට ප්‍රිය පිලිවෙලකට  සකස් කරගන්න. මම මගේ මතකය ගැන සැබැවින්ම සතුටු වෙමි. පාලි භාෂාවෙන් ඇති පිටු කීපයක් මට කඩපාඩමින් කියවීමට පැයක් පමණ මහන්සි විය යුතුය එය මගේ මනසේ මැනවින් තැන්පත් වන අතර අවැසි විටක යලි මතු වී එයි. මා හට බොහෝ විට ආඩම්බර වීමට කරුණක් වෙන මෙය සදහා මා යොදා ගන්නේ පොතත් ගෙන එය මිහිරි හඩින් සජ්ඣායනා කරමින් කොටසින් කොටස පාඩම් කරමින් එය දිගට කරගෙන යාමය. අවසානයෙදී සිතට සමාධි මත් බවක් දැනෙන අතර පාඩම සම්පුර්ණයෙන්ම ග්‍රහණය කරගැනීම නිසා ඇති අමතර සතුටක්ද උරුම කර ගනිමි. එබැවින් එබ පාඩම් කරන පිළිවෙල සිතට වදයක් වෙන අයුරින් නොවන ප්‍රිය මනාප ක්‍රමයකට හදා ගන්න.

මේ හැම දේම නම් බොහෝම හොදයි තමයි ඒත් කොහොමද කරන්නේ ..ඒ ටික කරන්නත් කම්මැලීනේ ඔබට සිතෙන්නට පුළුවන. මේ සදහා ඔබ යම් කිසි වෙහෙසක් ගත යුතුමය. එය දිනෙන් දින ඔබව දියුණුව කරා රැගෙන යාවී. ඔබට කල යුතු වන්නේ ඔබේ මට්ටමින් ඔබ ඉන්න තැනින් පටන් ගැනීමයි. මා ඔබට තවත් සරල කරුණු කීපයක් පැහැදිලි කර දෙන්නම්.

ඔබ අළුයම පිබිදෙන කෙනෙක් වන්න. පිබිදී වතුර වීදුරුවක් බොන්න. පසුව මදක් උද්යෝගිමත්ව නමස්කාරයත් ඉතිපි‍සෝ ස්වාකඛාතෝ සුපටිපන්නෝ ගාථා කියා විනාඩි පහලොවක් පමණ භාවනාවක යෙදෙන්න. එය අනාපාන සතිය වුවහොත් වඩාත් හොදය. භාවනාව වැඩුනේ හෝ නොවැඩුනේ හෝ එය ගැටළුවක් නොවේ ඔබ නිදිකිරා වැටෙමින් ‍හෝ භාවනා ඉරියව්වෙන් ඉන්න විනාඩි පහලවයි වැඩිය ඕනේ නෑ. මේ විදිහට කරන්න එවිට ඒ කාලය තුල මනස ලබන සහනය ඔබගේ දවසම ප්‍රබෝධමත්ව තැබීමට උපකාර වන බව වැඩිදවසක් යන්නට මත්තෙන් ඔබටම තේරේවී මෙසේ ඔබ කරන දේවල් වල පුංචි වෙනස් කමක් කර ගතහොත් .ඔබට කම්මැලි කම ජයගැනීම අපහසු දෙයක් නොවේ.

ජිවිතය හිස් වන්නේත් තේරුමක් නැති වන්නේත් කම්මැලි වන්නේත් වැදගත් ඉලක්කයක් හෝ මග පෙන්වීමක් නැති විටය. එබැවින් ඒ කරුණු මැනවින් සිතා සිතේ අධිෂ්ඨානයක් ඇති කර ගන්න. ඔබට කම්මැලිකම ජයගෙන සොදුරු වු වාසනාවන්ත අනාගතයකට අරුණළු ඉතාමත් ඉක්මනින්ම අදදැකිය හැකි වේවි.

දහම් ලිපි...

වෙනස් වෙන ලෝකයට ඇයිද මේ බය වේලා...

ඔබට අයත් හෝ ඔබට අයත් නොවන හෑම රූපයක්ම ඔබ ඉදිරියට එද්දි "අනිච්ච" (වෙනස් වෙලා යන දෙයකි) යනුවෙන් ඒ ගැන දැනගන්න ඔබ තුල ඇතිවෙන සැප සහගත හෝ දුක් සහගත හෝ උපෙක්ෂා සහගත වේදනාවක් පාසාම "අනිච්ච" (‍වෙනස් වෙලා යන දෙයකි) යනුවෙන් ඒ ගැනත් දැනගන්න. ඔබට අයත් හෝ අයත් නොවන ලෝකයේ මොනයම්ම දෙයක් ගැන වුවද යම් හදුනා ගැනීමක් කරන විට ද " අනිච්ච" (වෙනස් වෙලා යන දෙයකි) යනුවෙන් ඒ ගැනත් දැන ඔබ සිත තුල පහල වෙන කුසල හෝ අකුසල හෑම ‍චේතනාවක් ම සිත තුල ගොඩ ගෙන හැම විටකම ද " අනිච්ච" ‍(වෙනස් වෙලා යන දෙයකි.) යනුවෙන් ඒ ගැනත් දැන ගන්න. ඔබට ඔබ තුලම හෝ බාහිර ලෝකයේ හෝ යම් දෙයක් අරමුණු වන විට ද "අනිච්ච" (වෙනස් වෙලා යන දෙයකි ) යනුවෙන් ඒ ගැනත් දැනගන්න. 

සත්‍ය වශයෙන්ම මේ හෑම විටකම ඔබට මේ අනිච්ච යන එකම වටිනා කම හැම  දේකටම දෙන්නට හැකි නම්  ඒ කිසිවකුත් නිසා ඔබ නොකැළඹෙනු ඇති. ඒ කිසිවකුත් නිසා ඔබ අසරණ නොවනු ඇති. ඒ හැම දෙයක් හමුවේ ඔබට නොසැලී සිටිය හැකිය. කිමද ඒවා වෙනස් වෙලා යන ස්භාවයෙන් නිසා ඔබ කල යුත්තේ ඒවා පවතින තුරු බලා සිටීම ‍මිස ඒවා පසු පස යෑම හෝ ඒවා අයිති කරගන්නට උත්සාහ කිරීම හෝ නොව තේරුම් ගැනීමත් යන්ට හැරීමත් පමණක් වෙන නිසාය. මෙසේ ඔබ ජිවිතය ගැන දකින්නේ නම් ඔබ පඤ්ච උපාදනස්ඛණ්ධයන් පිළිබද ව අනිච්ච සඤ්ඤාව දියුණු කිරීම නිසා ප්‍රඥාවන්ත කෙනෙකු ‍වනු නොඅනුමානය. මදක් සිතන්න. මේ හැම දෙයක්ම වෙනස් වෙලා යන ස්භාවයට අයිති නම් ඒවා නිසා අපි එතරම්ම වේදනාවන්ට පත් විය යුත්තේ මක් නිසාද..? ඔබ සැමට තෙරුවන් සරණයි.

ධර්ම සාකච්ඡාව.

ප්‍රශ්නය...
පිනක් කරන විට මේ පින හේතුවෙන් අපට මේ මේ සැප සම්පත් ලැබේවායි සිතේ ඇතිවෙන හැගීම නිවන් මග අවුරනවාද ...?‍
Thejanu de silva


පිළිතුර....


ඉතාමත් ම වැදගත් ගැටළුවක් වන මෙය මැනවින් පහදා ගැනීමට අවැසි කරුණකි.


පඤ්චස්ඛන්ධයන් ගැන දකවන තැන සංස්ඛාරයන් ගැන මෙසේ සදහන් වෙයි. සංඛතං අභිසංකරොන්තීති. සංඛාරා. හේතු ප්‍රත්‍යයක් නිසා හටගත් දෙයක්. යලි යලිත් සංස්කරණය කිරීම සංස්කාර නම් වේ. රූපං රූපත්තාය සංඛතං අභිසංකරොන්ති. රූපය රූපයක් පිණිසම යලි යලිත් සංස්කරනය කරයි. යනාදී ලෙසින් දක්වන අර්ථ දැක්වීම එයට කදිම නිදසුනකි. 


සංස්කාරයන් තව දුරටත් විස්තර කරනු ලබන්නේ 
පුඤ්ඤාභිසංකාර
අපුඤ්ඤාභි සංකර
අනෙඤ්ජාභිසංඛාර


යනුවෙන් ඒවා වර්ගී කරණයට ලක්කල හැකිය. 


පුඤ්ඤාභිසංකාර යනු පුඤ්ඥමය වු චේතනාවය. එය සැප විපාක පිණිස පවතින සංස්කාරයකි.
අපුඤ්ඥාභිසංකාර යනු අකුසලමය චේතනාවය. එය සසර දුක් විපාක පිණිස පවතී
අනෙඤ්ජාභිසංකාර යනු මෙයින් සදහන් වන්නේ කාම ලෝකයේ විපාක පිණිස හේතුවන කුසල හෝ අකුසල චේතනාවලට එහා ගිය රූප අරුප ලෝකවල විපාක පිණිස පවතින ධ්‍යාණමය චේතනාය. 


අංගුත්තර තික නිපාතයේ එන භව සුත්‍රයන්හී සදහන් පරිදි. කාමලෝකයේ විපාක පිණිස කර්ම සකස් වු කල කාමලෝකයේ උපදින බවද , රූපලෝකයේ විපාක පිණිස කර්ම සකස් වු කල රූප ලෝකයේ උපදින බවද , අරූප ලෝකයේ  විපාක පිණිස කර්ම සකස් වු කල අරූප ලෝකයේ උපදින බවද සදහන් ය.  උපදින්නේ විපාක පිනිස කර්ම සකස් වෙන පිළිවෙලට අනුවය. එබැවින් අපගේ සිත තුල හටගන්නා වු චේතනාවේ ඉහල වැදගත් කමක් ඇත්තේ ය. කායික හෝ වාචසික ක්‍රියාවන් එකක් වන අතර අභ්‍යන්තර චේතනාව තව ‍එකක් විය හැකිය. එවිට විපාකය ගොඩ නැගෙන්නේ අභ්‍යන්තරව පවතින චේතනාවට අනුව මිස ‍බාහිර කායික හෝ වාචසික ක්‍රියාවට අනුව නොවේ.එබැවින් මේ පින හා පව ගැන එහෙම නැත්නම් කුසල හා අකුසල ගැන යම් අවබෝධයක් ඇති කර ගැනීම ඉතාමත්ම වැදගත් වෙයි. 


ඉදින් යම් කෙනෙක් පිනක් කරමින් යම් ප්‍රාර්ථනාවක් කරනු ලබන්නේ නම් ඒ ප්‍රාර්ථනාව ඉටු වීමට ඇති ඉඩ කඩ  ඒ තුලින් සැකසෙන බව ධර්ම ග්‍රන්ථයන් හී සදහන් වෙයි. ඉජ්ජතී භික්ඛවේ චොතෝපණිධි විසුද්ධත්තායි වදාළ පරිදිද එය පැහැදිලිය. අප පතන්නේ යමක් ද ඒ දේ ලබා දීමේ හැකියාවක් කර්මයට ඇත යන්න අපට විස්වාස කළ හැකි වුවද එය හැම විටම සක්‍රිය වන දෙයක් නම් නොවිය හැකිය කර්ම විසය වනාහි සිතේ සීමාව ඉක්මවා පවතින ධර්ම ස්භාවයකි.  එසේනම් අපේ පැතුමට අනුව හැම දේම ඉටු වන්නේ නම් මේ ලෝකය වඩාත් සුන්දරතර තැනක් වනු ඇත්තේ ය. බුදු රජාණන් වහන්සේ වදාලේ න ආයාචන හේතු වා පත්ථනා වා පටිලාබං වදාමී. ඉල්ලලා හෝ ප්‍රාර්ථන කරලා ලැබිය හැක්කත් ගැන නොපවසමි. 


කරුණු මෙසේ හෙයින් අප මේ පින ගැන තිබෙන බිය නම් නැති කර ගත යුතුමය බුදු රජාණන් වහන්සේ පිනට බිය නොවන ලෙස පහදා වදාළ සේක. අපගේ ප්‍රාර්ථනා නම් කෙලෙවරක් නොමැතිසේ පෙළ ගැසී ඇත්තේ ය. ඒවා ඒවාට සුදුසු ඉඩ කඩ ඇති කල්හී විපාක දෙනු ඇත. ඔබ නිකම්ම පිනට බය වීම ඔබට යහපත පිණිස නොපවතිනු ඇත එයින් ඔබ කබලින් ලිපට වුවද වැටී යා හැකිය. 


එබැවින් අප මෙහි සාධාරණ පිළිතුරක් දෙන්නට බලාපොරොත්තු වෙමී ඔබේ හැම පිනකදීම ඔබ කල යුතු වන්නේ සියළු කෙලෙසුන් නැති කොට අමා නිවන් සුව අවබෝධ කර ගැනීමට සිත පිහිටුවීමයි. එවිට ඔබ ගමනාන්තය දක්වා ලගා වෙන අතර ඒ මග දෙපස දේ හා අතර මග හැම දෙයක්ම ඔබට මුණ ගැසෙනු  ඇත ඔබට අවැසි නම් ඒවා බලාගෙන ‍යා හැකිය නොමැති නම් දෑස් පියාගෙන අතහැර දමා යා හැකිය. ඒ ගැන බියක් ඇති කර නොගන්න වැදගත් වන්නේ ඔබේ සිත පිහිටන විදිහය. ඔබ බුදු රජාණන් වහන්සේ වදාළ ‍තුලින්  ප්‍රඥාවන්ත වන්නේ නම් එවිට ඔබ මේ හැම අවුලකින් ම නිදහස් වනු ඇත්තේ ය. 


තවද පැහැදිලිව ම කිව යුත්තක් ඇත. පින් කොට නිවන් පතා පමණක් නම් කිසි දිනෙක නිවන් අවබෝධය නොවන බවය. ඒ සදහා වැඩිය යුතු සීල සමාධි ප්‍රඥාවන් නොවඩා ඔබ කිසි දිනෙක නිවනට ළගා නොවන්නේ ය. බුදු රජාණන් වහන්සේ සමග සිටි මාලුංඛ්‍ය පුත්ත තෙරණුවෝ පවසා සිටියේ ......දුක රැස් කරන දේවල් කරමින් සිටින විට නිවනින් දුරස් වෙනු විනා නිවනට ලං නොවන බවයි. " ඒවං ආචිනතෝ දුක්ඛං ආරා නිබ්බාණන්ති පවුච්චති" මෙය මැනවින් සිතට ගන්න. නිවන් මග එකක් වන අතර සසර සැප ලබන මග තවෙකකි. 
පිරිසිදුව මේ කර්මය සසර ගමනට හා නිවනට බලපානා අයුරු දැන ඉගෙන ගන්නට පහත සුත්‍ර දේශනාවන් ඉගෙන ගන්න..


ඡළාභිජාති සුත්‍රය.
කුක්කුර වතිය සුත්‍රය.
මා පුඤ්ඤභායි සුත්‍රය
සුමනා සුත්‍රය.
ඔබට සම්මා සම්බුදු සරණ වේවා.